කපුටු " බෝ "

 





මේසය මත වූ රතු පැහැති අත් බෑගය තුල තොරතෝංචියක් නැතිව මොර දෙන ජංගම දුරකතනය දෙස වරක් දෙවරක් බැලූ ඈ ඇස් මා දෙස් බැලූයේ සමාව ඉල්ලන්නාක් මෙනි.

"කමක් නෑ. ගන්න."

ලද අවසරයෙන් බෑගයට පැන්න ඈ දුරකතනය ගත්තාය.

" ඔව්පුතේ කියන්න."

සමාව ඉල්ලනසුලු බියගුලු දෑසකින් මා දෙස බලා හෙමින් හඬ අවදි කලාය.තත්පර කිහිපයක් අනෙක් පස හඬට කන් දුන් ඇගේ පුදුමයෙන් විශාල වූ දෑස්.අඳුරු පහන් එලියට දිලිසෙයි.රත් පැහැ දෑස් අග නලියන කදුලු බින්දුවක් එලියට පනින්නට සැරසෙයි.

"දෙයියංගෙ පිහිටයි මගෙ රත්තරං පුතාට"

ඒ හඬ අඬන්නට ඔන්න මෙන්න ය.

" කොහෙටද පුතේ තේරිලා තියෙන්නෙ?"

අනෙක් පසට උවමනාවෙන් කන් දුන් ඈ නැවතත්,

"කොහෙද..?"

ඒ ඇස් කෙමෙන් අදුරු වනු අඳුරේම දුටුවෙමි.සුලු මොහොතකින් ඈ පුස් ගඳ ගසන ඇංද ඇතිරිල්ල මත උඩුකුරුව වැතිරුනාය.

"මහත්තය පාන්දර යන ගමං මාව බෝ ගහ ලඟින් දාගෙන යන්න පුලුවන්ද?" එය මට අලුත් ඉල්ලීමක් නොවූනි.

එලිය වැටෙන්නට මත්තෙන් නුගේගොඩ බෝ ගහ අසලින් රථය නැවැත්වූ මම,

"බහින්න, බෝගහ ළඟට ආව."


" මහත්තය මම කිව්වෙ පිටකොටුවෙ බෝ ගහ ළඟ."


කිසිත් නොකියා රථය පණ ගැන්වූ මා නතර වූයේ පිටකොටුව බැස්ටියන් මාවත බෝ ගහ ලග ය.

"බොහොම පිං මහත්තය."

ඒ මා කිසි දිනක ඇගෙන් නොඇසූ වචනයකි.එසේ කියා අදුරේම දිව ගිය ඈ "හොරොව්පතාන-කොළඹ " බසයට ගොඩ වනු දුටුවෙමි.

 එදා සිට අද වන තෙක් මැදියම් රැයේ නුගේගොඩ බෝ ගහ පසු කර යන මා හැම දිනකම ඇගේ රුව සෙව්වෙමි.නමුත් කිසි දිනක මා ඇය නොදුටුවෙමි.



No comments:

Post a Comment