දියවන්නාවෙ එක කොණක
පාරක් අයිනෙ
පණ ගැහෙන ජීවිත අතර
පුලුවන්නම් හොයල දීපං
පාරක් අයිනෙ
වෙළෙන්දෙක් වෙන්න
හීන මවපු එකෙක්.
එන්න හිරු දකින්නට කලින් දකින්න... මැකෙන්නට නොදී හීන් සීරුවට කියවන්න.
දියවන්නාවෙ එක කොණක
පාරක් අයිනෙ
පණ ගැහෙන ජීවිත අතර
පුලුවන්නම් හොයල දීපං
පාරක් අයිනෙ
වෙළෙන්දෙක් වෙන්න
හීන මවපු එකෙක්.
මිණී කපන්නාගේ සාක්ෂිය
" ඉස්කෝලෙ ගව්ම අන්දල හදල තියපං, දවස් තුනකට""වහ බීල"
කපනකොට අහු උනා බඩේ ඉතිරි උණ
"හදවතක්"
කොර්නේල්ටත් අහු නොවුන
මැරෙන්නට කලින්
දහස් වාරයක් මැරුණු ඒකිට
තවත් පණ නැතුව ඇති
තව සැරයක් වත් මැරෙන්න
...........
විසි කලා කුණු මුට්ටියට
කාටවත් නොකියම
ඉඩ නොදී තව එකෙක්ට
තව වරක් වත්
ඒකිව මරන්නට
''අම්බලමේ පිනා පිනා
වලං කදක් ගෙනා ගෙනා
ඒක බිඳපු ගොනා ගොනා
ඒකට මට හිනා හිනා''
ශ්‍රී ලාංකික සිංහල ජන සමාජයේ එදා මෙදා තුර බොහෝ දෙනෙක් " අම්බලම "යන වචනය ජීවිතයේ පළමු වරට ඇසුරු කරන්නට ඇත්තේ ඉහත ජන කවියෙන් බව පැවසුවහොත් ඊට විරුද්ධ වන්නේ අතලොස්සකි.
බැලූ බැල්මට ඉතා සරල කවියක් වුවද මේ තුළ ගැබ්ව ඇති ඉතා ගැඹුරු බෞද්ධ ආධ්‍යාත්මික සංකල්පය අමුතුවෙන් පැහදිලි කළ යුතු නැත. ඉහත කවිය මෙන්ම අම්බලම යන ගොඩනැගිල්ලද හුදෙක් ගිමන්හලක් පමණක් නො වේ. මූලික වශයෙන් එය ගමන් බිමන් යන්නන්ගේ සරතැස නිවනා, රාත‍්‍රියට ආරක්ෂා සහිත නවාතැන්පළක් මෙන් ම හෙළ රජ සමයේ රාජ පුරුෂයන්ට සිය සන්නිවේදන කටයුතු පවත්වාගෙන යාමටත්, තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයක් ලෙසත්, වෙළඳ නගර කරා ඇදෙන දෙස් විදෙස් වෙළඳුන්ගේ පහසුව සඳහාත්, ග‍්‍රාමීය වෙළඳ කේන්ද්‍රස්ථාන වශයෙනුත්, ඒ ඒ ප‍්‍රදේශයන් හි විවිධ සමාජ කාර්යයන් සඳහාත් අම්බලම එදා සමාජය තුළ අගනා මෙහෙයක් ඉටුකළ සෙවණකි. එමෙන් ම ‘අම්බලම’ හෙළ ගෘහ නිර්මාණ කලාවේ සුවිශේෂී අංගයක් බවට පත් කරවූයේ එහි දී භාවිත වූ අද්විතීය ශිල්පීය ක‍්‍රමවේදයන් මෙන් ම මනෝරම්‍ය නිර්මාණශීලීත්වය යි. එය පරිසරය හා මනා සබැඳියාවකින් යුතු ව ඉඳිකොට තිබීම තවත් සුවිශේෂත්වයකි. මේ හැර අම්බලම්වල ගෘහ නිර්මාණ ලක්ෂණ හා අම්බලම් ජන ජිවිතයට සම්බන්ධ වූ ආකාරය වැනි අංශ ගැන නූතන ලිපි ලේඛන හා ඓතිහාසික ලිපි ලේඛන රැසක් දක්නට ලැබේ.
අම්බලම් පිළිබඳ රසවත් පුරාවෘත්ත බොහොමයක් අපට හමු වන්නේ සංදේශ කාව්‍යයන් හරහා ය. පරෙවි සංදේශය, තිසර සංදේශය, මයුර සංදේශය මෙන් ම සැළලිහිණි සංදේශය ද මේ අතරින් ප‍්‍රධාන වේ.
''සැපත්
සුදම් සබ සිරිසර පහළ කොට
යාපත්
විලස පානා මෙන් නරලොව ට
මාවත් පතනුවන් වන් විට වන පිහි ට
මාවත් මඩුව දැක යාගන් පුරවර ට''
මයුර
සංදේශයට අනුව ගඟ සිරි පුරවයේ සිට දෙවි නුවර උපුල්වන් දේවාලය තෙක් ගමන් කරන මයුරාට
“මාවත්
මඩුව” නම්
විශ්‍රාම ශාලාව දක්නට ලැබේ.
ක්‍රි.ව.
1833 දී සත් කෝරලයේ කවියෙකු
විසින් කරන ලැදැයි සැලකෙන අෂ්ටනාරි සංදේශයේ දැදුරුඔය අසබඩ පිහිටි අම්බලමක් පිළිබඳ
සඳහන් කර ඇති බව එම සදේශය නැවත සංස්කරණය කරන ලද කේ.බී. හේරත් මහතා සඳහන් කොට
තිබේ. අෂ්ටනාරි සංදේශය නාරි සුන්දරත්වය පිළිබඳ පුන පුනා වර්ණනා කරන අතර වෙල මැද
පිහිටි අම්බලමක් පිළිබඳ එහි සඳහන් වී ඇත්තේ මෙලෙසිනි.
“නල
වැද සළුව තැනු ඉඟවට ඇන්ද තමා
විල මැද
රන් තඹර පෙති මුවගින්ද තෙමා
රැල මැද
හමන සිලු සිසිමුව වින්ද දමා
වෙල මැද
අම්බලම බල සකි නින්දගමා”
තවද අම්බලම පුරාණ ජන සමාජය හා අත්‍යන්තයෙන්ම බැදී පැවති ගෘහ නිර්මාණාංගයක් බව ජන සාහිත්‍යයෙන් ද සනාථ වේ. හුදී ජනයා තම විවේක අවස්ථාවන්හි දී කතාබසෙහි නියැලීමට ද, කෙළිකවට කමෙහි නිරත වීමට ද අම්බලමට ගොඩවැදුණු බවට තොරතුරු ලැබේ. ජන සාහිත්‍යයෙහි එන අතැම් ජන ගී අම්බලම හා බැඳි ජනජීවිතයේ ස්වභාවය මොනවට විදහාලන්නේ ය.
''මන්දාරමට
උඩ කෙළිනා වැහි ලේනී
ගොනුගෙ
කරේ බැන්දා වැනි බර ගෝනී
වෙල
ළඟ අම්බලම කාටත් පර වේණී
මට තනි නැත නුඹ නාඩන් උල ලේනීී''
''අල්ලාගෙන
නෙරිය අතකින් කිම ද නගෝ
වසාගෙන
දෙතන අතකින් කිම ද නගෝ
හිමි
නැති මහපාරෙ තනියෙන් කිමද නගෝ
අම්බලමේ
අපි නැවතී යමු ද නගෝ''
අම්බලම
පිළිබඳව දෙස් විදෙස් සංචාරකයන් තැබූ සටහන් ද අම්බලම නැමති අපූර්ව නිර්මාණයෙහි සමාජ, සංස්කෘතික අගය මනාව විග්‍රහ කරයි.
" වැඩ කටයුතු අවසන් කොට ගම් වැසියන් හට මඳ වූ අවසරයක් ලැබුණු කල්හි අමුත්තන් හා මඟියන් සඳහා ඉඳි කර ඇති අම්බලම (Ambolmb ) හෙවත් විශ්‍රාම ශාලාවට රැස් වී බුලත් හපමින් සල්ලාපයේ යෙදෙති. ඇතැම් විට සන්සුන් ලෙසින් ඔවුනොවුන් දෙස බලමින්, මේ පිරිස බෙහෙවින්ම කථා කරන්නේ රජ වාසලේ කටයුතු රජු සහ නිලධාරීන්ගේ කටයුතු නගරයේ වැසියන්ගේ කරන කියන දේ ආදී විවිධ මාතෘකා උඩය. රැස් වූ පිරිසගේ ප්‍රධාන කාර්යය රජ කාර්යය කිරීම නම් ඔවුන්ගේ සාකච්ඡාවේ ප්‍රස්තූතයන් එයම වන්නේය. හරකා බාන හා ගොවි කටයුතු ගැනත් කථා කරති. ඉඳින් අම්බලමේ දී පිටගම්කාරයෙකු හමු වුණොත් ගත් කටටම ඔහුගෙන් අසනුයේ ඒ ප්‍රදේශයේ නීති රීති දඩ මුඩ රේන්ද සුංගම් ගැන හා රජු පිළිබඳවය.’’…..
යනුවෙන් මෙරට එළිමහන් සිරකුරුවකු සිටි රොබට් නොක්ස් නම් ඉංගී‍්‍රසි ජාතිකයා එදා හෙළදිව පොතේ වාර්තා කර තිබේ.
ආනන්ද කුමාරස්වාමි මහතා ස්වකීය 'මධ්‍යකාලීන සිංහල කලා' නම් ග්‍රන්ථයේදී අම්බලම ද කලාත්මක හා ගෘහ නිර්මාණ ශිල්පය අතින් වැදගත් ගොඩනැගිල්ලක් බව ප්‍රථම වරට පෙන්වා දීම දැක්විය හැකිය.
මෙම ලිපියෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත පුරාණ සුවිශේෂි අම්බලමක් ලෙස හැඳින්වෙන පනාවිටිය අම්බලම පිළිබඳ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ ආචාර්ය සී.ඊ. ගොඩකුඹුර මහතා විසින් ලියන ලද ‘පනාවිටිය අම්බලම් කැටයම්’ නැමති ග්‍රන්ථයේ අම්බලම් හඳුන්වා දී ඇත්තේ මෙලෙසිනි.
“අම්බලම් නම් විඩා හැරීම සඳහා ස්ථානයකි. අම්බලම් විශේෂයෙන් සාදන ලද්දේ ප්‍රසිද්ධ මංමාවත් අසලය. මාවත් වැටී තිබුණේ කුඹුරු යායවල් ඔස්සේ හෙයින් බොහෝ කුඹුරු යායවල් අසල පාරවල් අයිනේ අම්බලම් දක්නට ලැබේ. මේ අම්බලම් විශේෂයෙන් කරවන ලද්දේ දුරබැහැර රාජකාරි සඳහා හෝ නෑ ගමන් හෝ යන එන්නන් උදෙසා පමණක් නොව ගම්මුන්ගේ ප්‍රයෝජනය පිණිසය.''
මෙවන් සමාජ සංස්කෘතික, ආගමික, හා කලාත්මක වටපිටාවක ඓතිහාසික සාක්ෂි රැසක් සඟවාගෙන අදටත් නිසොල්මන්ව සිටින අපූර්ව නිර්මාණයක් වන පනාවිටිය අම්බලමෙහි ආගිය තොරතුරු රැසක් මෙහිදී සාකච්ඡා කරනු ලබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුවේ මයුරාවතී කෝරලයේ පනාපිටිය නම් ග්‍රාමයේ මෙම අම්බලම පිහිටා ඇත. දඹදෙණිය අනුරාධපුර මාර්ගයේ නාරම්මල නගරය ආසන්නයේ හමුවන මැටියගන හන්දියෙන් වමට හැරී සැතපුම් 3 ක් පමණ ගිය විට පනාපිටිය ග්‍රාමයේ දර්ශනීය වෙල් යායක් මාධ්‍යයේ මෙම අලංකාර අම්බලම දක්නට ලැබේ. මෙම ඉසිඹුහල මහනුවර යුගයට අයත් බව පුරාවිද්‍යාත්මක සාධකවලින් සනාථ වුවද මෙහි ඉතිහාසය සොයා යාමේදී මෙම ගමට එම නම යෙදුණු ආකාරය පිළිබඳ ඉතිහාස කතාව ඉතා වැදගත්ය.
දඹදෙණි යුගයේ රජකම් කළ දෙවන පරාක්‍රමබාහු රජ දවස තෙක් එම ඉතිහාස කතාව දිව යයි. එකල මෙම ග්‍රාමය රත්මල්වැටිය නමින් හඳුන්වන ලද මනරම් ප්‍රදේශයකි. රටේ ඇතිවූ අභ්‍යන්තර කැරැල්ලක් මැඬ පැවැත්වමින් තම සේනාව සමඟින් ආපසු දඹදෙණියට පැමිණෙමින් හුන් පැරකුම් රජ සොයුරු විජයබා කුමරු සතුරෙකු එල්ල කළ නාග විෂ කැවූ හී පහරක් හේතුවෙන් මෙම ප්‍රදේශයේදී සිහි මුර්ජාවට පත්වූයේය.
එකල විෂ වෙදකමෙහි අතිදක්ෂයන් සිටි බවට ජනප්‍රවාදයේ එන රත්මල්වැටිය ප්‍රදේශයේ යම් පුද්ගලයෙකු විසින් ඔහුට ප්‍රතිකාර කරන ලදුව හී සර වැදීමෙන් සිහි මූර්ජා කුමරුන් යළි ප‍්‍රාණය ලද්දේ ය. රත්මල්වැටියේ දී කුමරුන් හට පණ ආ හෙයින් එය පසුව ‘පණ-ආ-වැටිය’ ලෙස ද අනතුරුව පනාවැටිය ලෙස ද අවසන ‘පනාවිටිය’ ලෙසින් ද ජනවහරට එක් වී තිබේ.
බෝසත් විජයබා කුමරුන්ගේ යට කී සිද්ධියෙන් පසු දීකිරිකෑවේ සංචාරයෙහි නිරත වන සෑම අවස්ථාවක ම පනාවිටියේ මෙම අනුහස් සහිත භූමියට පැමිණ මඳ වේලාවක් ගත කිරීමට පුරුදුව සිටි බවත් පසුව රජුගේ නියෝගයෙන් මෙම ස්ථානයේ අම්බලමක් ඉඳි කළ බවටත් ජනප්‍රවාදයෙහි සඳහන්ය.
නමුත් මෙහි නිර්මාණ ශිල්පය සෘජුව නෑකම් කියන්නේ මහනුවර යුගයටය. තවත් ජනප‍්‍රවාදයකට අනුව මෙම අම්බලම සාදන ලද්දේ මහනුවර මඟුල් මඩුව සෑඳූ කලාකරුවාගේ පුත‍්‍රයා බව කියැවේ. එම පියා හා පුතා අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඔවුන් දෙදෙනා වෙන් වී පියා මඟුල් මඩුවත්, පුතා මෙම පනාවිටිය අම්බලමත් ගොඩනැගූ බවත්, මෙහි ඉද්ද ගැසීමේ දී ඇති වූ දෝෂයක් හේතුවෙන් ඔවුන් දෙදෙනාම එකට මුණගැසුණු අවස්ථාවේ මිය ගිය බවත් කියැ වේ.
ඉපැරණි දඹදෙණිය – යාපහුව රජ මාවත ඔස්සේ වැටී තිබූ අම්බලම් ශ්‍රේණියෙන් මේ වන විට ශේෂ වී ඇත්තේ අම්බලම් 02ක් පමණි. පනාවිටිය අම්බලම ඉන් එකකි. අනෙක නම් කරගහගෙදර අම්බලමයි. මේ අතරින් වඩාත් සුමට, නිර්මාණශීලීත්වයෙන් පිරිපුන් නිමැවුම වන්නේ පනාවිටිය අම්බලමයි. දෙස් විදෙස් ගෘහ නිර්මාණ ශිල්පීන්, සුප‍්‍රසිද්ධ කැටයම්කරුවන් මවිතයට පත්කළ අසහාය නිමැවුමක් වූ මේ සොඳුරු ගිමන්හලේ ලී කණු, බාල්ක, යට ලී ඇතුළු බැලූ බැලූ අත දිස්වෙන සියුම් කැටයම් නිර්මාණ, ඓතිහාසික ඇම්බැක්කේ දෙවොලටත්, ශ‍්‍රී දළදා මාළිගාවටත් පමණක් දෙවෙනි වන බව ඉතිහාසඥයන්ගේ මතයයි.
ප්‍රථම වරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් 'අම්බලම' නම් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය මතු වූයේ, මෙම අම්බලම එවකට මුහුණ පා තිබූ විනාශකාරී තත්ත්වය චාල්ස් ගොඩකුඹුරේ මහතා විසින් හඳුනා ගැනීමෙන් පසුවය.
ඒ 1961 වර්ෂයේදීය. එවකට මෙහි වහලය පිඳුරුවලින් සෙවිලි කොට තිබූ අතර කැටයම් සහිත දැව දඬු ද බොහොමයක් දිරාපත් වී තිබූ බව 1961 පුරාවිද්‍යා පාලන වාර්තාවට අනුව පෙනී යයි.
“අම්බලම ඉතා අබලන්ව එහි මුදුනේ කැණිමඩල කැඩී පරාල වෙන්ව ගොස් තිබුණා……දහසය වන සියවසෙන් පෙර කාලයට අයත් දැව දඬු බොහෝ දුරට දිරාපත්ව තිබුණි. යටගිය දවස සිංහල කැටයම්කරුවාගේ කෘතහස්තභාවයට දෙස් දෙන්නට සෑහෙන තරම් ඉතිරිව තිබුණි.” (ගොඩකුඹුර 1960).
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් එම කැටයම් සඳහා යොදා තිබූ පැරණි දැව දඬුම යොදාගෙන එලෙස කැටයම් කප්පවා ඇත. ඉන්පසු දිරාපත් වු දැව දඬු පමණක් ඉවත් කොට අලුත් ඒවා යොදා පැරණි ස්වරූපයට ප්‍රතිසංස්කරණය කොට ඇත. ඉවත් කළ කැටයම් සහිත දැව දඬු රසායනික ද්‍රව්‍ය යොදා අනුරාධපුර කෞතුකාගාරයට යැවූ බව පාලන වාර්තාවේ සඳහන් වේ.
![]() |
අම්බලම සංරක්ෂණය පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවමූලාශ්රය: පුරාවිද්‍යා තොරතුරු මධ්‍යස්ථානය-පනාවිටිය |
ජාතියක
අභිමන කියාපානා මෙම විස්මිත නිර්මාණය සහ මෙහි සියුම් කැටයම් හෙට දවස වෙනුවෙන්
සංරක්ෂණය උදෙසා, මූලික පහසුකම් ද අවම වූ යුගයක
අප‍්‍රමාණ වෙහෙසක් දරා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉටුකොට ඇති මෙහෙය අතිශය
පැසසුම් කටයුතු ය. වර්තමානය මෙන් ම අනාගතය විසින් ද ඒ ශ්‍රේෂ්ට ඉතිහාසය බුහුමන්
ලැබිය යුතු ම ය.
අහසේ
පාවෙන ඉසිඹුහල
දුරින් හිඳ බලන්නකුට මෙම අම්බලම දිස්වන්නේ පොළොවෙන් අඩි 2-3ක් පමණ උස් ව යම් ඍද්ධියකින් රැඳී තිබෙන්නා වූ ගොඩනැගිල්ලක් මෙනි. සැබැවින් ම මේ සම්පූර්ණ ගෘහය නිමැවී ඇත්තේ පොළොවේ ශක්තිමත් ලෙසින් පිහිටුවන ලද වටකුරු ගල් හතරක් මත සමබර කරනා ලද දැව තලාඳ 4ක් මත ය. ඒ මුළු ගොඩනැගිල්ලේ ම පාදමයි. මෙම ටැම්පිට ගොඩනැගිලි කලාව 19 වන සියවස දක්වා ප‍්‍රචලිතව පැවතුණකි. වටකුරු ටැම් 4 මඳක් අභ්‍යන්තරයට වන්නට පිහිටුවා ඇති බැවින් එක් වරම බැලූ විට ඒවා නො පෙනේ. මෙය බැලූ බැල්මට පාවෙන ගොඩනැගිල්ලක් ලෙසින් දිස්වනුයේ එහෙයිනි. ශ‍්‍රී ලංකාවේ භාවිත වී ඇති මෙවන් සියුම්, දුර්ලභ ගෘහ නිර්මාණ ශිල්පීය විධි ක‍්‍රමයන් ලොව කිසි ලෙසකින් සුලබ නො වේ. අදට ද මේවා දැකබලා මවිත ව බටහිරයන්ගේ ඇස් උඩ යන්නේ එනිසාවෙනි. මුළුමනින් ම දැවයෙන් නිර්මිත මෙය නිතර වැසි දියෙන් තෙමීමෙන් ද වේයන් වැනි කෘමීන්ගෙන් ආරක්ෂා කිරීමේ අටියෙන් ද රාත‍්‍රී නවාතැන් ගන්නා පිරිස් හට සර්පයන් වැනි සතුන්ගෙන් සිදුවිය හැකි උපද්‍රව අවම කරගැනීමේ අටියෙන් මෙන් ම බොහෝ දෙනා පරිභෝජනය කරනා බැවින් නඩත්තු කටයුතුවල පහසුව උදෙසා ද මෙසේ පොළොවෙන් මඳක් උස් ව ඉදිකොට ඇතැයි සැලකේ.
![]() |
| මූලාශ්‍රය: කතුවරිය |
පනාවිටිය අම්බලමේ වහලය ඉතා විශිෂ්ට ගණයෙහි කැටයමින් සමන්විත වූවකි. මහනුවර යුගයෙහි දියුණුවට පත් වූ දාරුමය ගෘහ නිර්මාණ ඉදිකිරීම් ශිල්පයෙහි තවත් දියුුණුම අවස්ථාවකට එය නිදසුනකි.
![]() |
අම්බලමට ඇතුලු වන්නෙකුට එක්වරම දර්ශනය වන |
“සම කාලීන ගෘහ නිර්මාණ ශිල්පයෙහි උච්චතම අවස්ථාවක් නිරූපණය කරන බැව් පෙනේ. කැණිමඩල දක්වාම එක හා සමානව සරල ලෙස කැටයම් කොට ඇත. මුළු පරාල සංඛ්‍යාව තිස් දෙකකි. ඒ සියල්ලක්ම මඩොල් කුරුපාව මඟින් විශිෂ්ට ලෙස සම්බන්ධ කර ඇත. වහලයේ හරහට දමා ඇති විශාල බාල්ක දෙකකි. එය අලංකාර කැටයමින් සරසා ඇත. මුදුන් යට ලීයේ දිග අඩි තුනයි අඟල් හයකි. වහළයේ වඩු වැඩ, බාල්ක, තලන්, යටලී, හරස් යට ලී, කතුරු ලී, කුරුපා, පරාල, මුදුන් පරාල හා මුදුන් යටලීයෙන් ද යුක්තය” (ගොඩකුඹුර -1993).
![]() |
කැණිමඩල රඳවා ගත් මඩොල් කුරුපාව සහ මූලාශ්‍රය: කතුවරිය |
![]() |
මනා කැටයමින් යුතු කුලුණු හිස, පේකඩ, බාල්ක හා මඩොල් කුරුපාව |
අලංකාර පියුමක් හා ලියවැල් කැටයමක් ඒ අතර වේ. මෙහි වහලය කේතු ස්වරූපයක් දක්වන අතර, වහලය වටා බීරළු රටාවක් දක්නට ලැබේ. වර්තමානයෙහි දක්නට ලැබෙන අම්බලමේ වහලය සෙවිලි කර ඇත්තේ පෙති උළුවලිනි. එය වර්ෂ 1960 දී මෙම ස්ථානයෙහි සිදු කරන ලද තහවුරු කිරීමෙහි ප‍්‍රතිඵලයක් ලෙස හදුනාගත හැකි වේ. මෙම තහවුරු කිරීමට පෙර අම්බලමෙහි වහළයට පොල් අතු සෙවිලි කර තිබූ බව 1960-1961 පුරාවිද්‍යා කොමසාරිස් පාලන වාර්තාවේ සඳහන්වේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලද 1961 සංරක්ෂණයට ප්‍රථම ලබා ගත් ඡායාරූප ඒ බව සනාථ කරයි.
![]() |
සංරක්ෂණයට ප්‍රථම පොල් අතු සෙවිලි කර තිබූ අම්බලමමූලාශ්රය: පුරාවිද්‍යා තොරතුරු මධ්‍යස්ථානය-පනාවිටිය |
තහවුරු කිරීම සිදුකෙරෙන අවස්ථාවේ හමු වූ අවට විසිරී තිබූ උළු කැබලිවලින් අම්බලමේ වහළයට මුල් කාලයේ දී උළු සෙවිලි කර තිබූ බව තහවුරු කෙරිණි. අවට විසිරී තිබී හමු වූ උළු කැබලි වර්ග තුනකට අයත් වේ. ඒවා සෘජුකෝණාස‍්‍රාකාර පැතලි උළු, කේතු ආකාර පැතලි උළු හා මුදුන් උළු කැබලි ලෙස සඳහන්වේ. (කරුණාරත්න1971:124).
![]() |
මාලිගයක සිරි උසුලන මල්කමින් හා කැටයමින් හැඩකල වහලයමූලාශ්රය: කතුවරිය |
ශ්රී ලාංකීය සාම්ප‍්‍රදායික කැටයම් රටාවන්ගෙන් පැහැදිලි ලෙසින් අපගමනය වූ පනාවිටියේ ලී කැටයම් තත්කාලීන සමාජයට කැටයමින් පණ දුන් සුවිශද නිර්මාණයකි. අටපට්ටම් හැඩයෙන් නිමවා ඇති කුලුණු බද මධ්‍යය විවිධ කැටයමින් අලංකෘතය. කැටයමින් නිර්මිත එම කොටස චතුරශ්‍රාකාරය. කුලුණු හිස නෙළුම් මල් කැටයමින් යුක්ත පේකඩයකින් වහලට සම්බන්ධ කර තිබෙනු දක්නට හැකිය. කල්පිත මනෝභාවයන් තුළ කැටයම් වූ මල්කම්, ලියකම් හෝ වෙනත් රූපකායන් වෙනුවට එදිනෙදා මඟතොටේ, විහාරයේ, බෝ මළුවේ, වෙල් යායේ, රජ වාසලේ, හටන් මඩුවේ, ඇත් හලේ දී නිතර නෙත ගැටෙනා යථාවාදී දසුන් පනාවිටියේ ගල් කණු මත අදටත් දිවමන් ව ඇත.
මල් පූජා කරන්නන්, අණබෙරකරුවන්, පණිවුඩකරුවන්, සක් පිඹින්නන්, ඇත් ගොව්වන් ආදීන් දැනුදු පනාවිටිය අම්බලමේ කණු මත ජීවමානව හිඳිනා අතර නාටිකාංගනාවන්, අංගම්පොර ශිල්පීන් මෙන් ම නළු නිළියන් ද මේ කැටයම් අතර වේ. නිසල බෝ මළුව ද පරිසර අසිරිය ද සත්ව ලෝකය ද මේ මහානීය නිමැවුමේ කොටස්කරුවෝ ය. මෙහි කැටයම් ව තිබෙනා සොඳුරු බෝ පත්, විසිතුරු නෙළුම් මල්, මුවන්, හස්තීන්, සිංහයන්, මොනරුන් මෙන් ම ගුරුලන්, නාගයන් හා යක්ෂයන් ද එදා කැටයම්කරුවාගේ නිර්මාණ වපසරිය මොනවාට කියාපායි.
එකම ලී කණුවෙහි සතර දිශාව එකකට එකක් වෙනස් වූ කැටයමින් හැඩ කර තිබීම සාම්ප්‍රදායික ලී කැටයම් කලාවෙන් ඔබ්බට ගිය පනාවිටිය කැටයම්කරුගේ කුසලතාව මනාව සපථ කරයි.
පනාවිටිය අම්බලමේ කුලුණුවල දක්නට ලැබෙන කැටයම්වලින් කිහිපයක් පහතින් දක්වා ඇත.
![]() |
කුලුණු මැද හතරැස් කොටුවල සඳහන් කැටයම්වලින් කිහිපයක්.මූලාශ්‍රය: කතුවරිය |
ඓතිහාසික පනාවිටිය අම්බලමට තරමක් ඔබ්බෙන් පිහිටා ඇති තවත් අපූරු අම්බලමකි. නාරම්මල කඩහපොල මාර්ගයෙන් සැතපුම් කිහිපයක් ඔබ්බට ගිය කළ කරගහගෙදර නම් ගම්මානයක ඉතා දර්ශනීය වෙල් යායක් කෙළවර පිහිටි රමණීය කලු ගල් තලාවක් මත මෙය පිහිටා ඇත.
බැලූ බැල්මට ස්වරූපයෙක් පනාවිටිය අම්බලමට බොහෝ සෙයින් නෑකම් කියන මෙම ගිමන් හල පනාවිටිය මෙන් තැනිතලා බිමක නොව අසමතුලිත ගල් තලාවක් මත ඉතා වටකුරු රවුම් ගල් හතරක් මත යෙදූ දැවමය තලාඳ හතරක් මත ඉඳි කර ඇත. අසමතුලිත ගල් තලාව මත තවත් අසමාන කළු ගල් හතරක් යොදාගෙන අම්බලමේ සමතුලිත බව රැකෙන පරිදි දැවමය පාදම පිහිටුවා ගත් ආකාරය මවිතයට කරුණකි. වහලය ලී කණු මත දරා සිටියි.
මෙහි ඉතා සරල කැටයම් දක්නට ඇති අතර පනාවිටිය අම්බෙලමෙහි වූ කැටයම්වල මූලික හැඩය පමණක් යොදාගෙන ඇත. නමුදු කැටයම් කළ පේකඩ කණු මත වහලය සකසා ඇත. ඉතා සරල කැටයම්වලින් යුතු කුළුණු සංඛ්‍යාව අතින් පනාවිට්ය අම්බලමට වඩා වැඩි බව දැකිය හැක. පනාවිටිය අම්බලමේ ඇතුළු වටයේ කණු 9 ක් තිබුණ ද මෙහි 4 ක් පමණක් ඇත. එහෙත් පිට වටයේ කණු 17 ක් දක්නට ලැබේ.
වහලයට පෙති උළු යොදා ඇත. කැණිමඬලෙහි මඩොල් කුරුපාවට සම්බන්ධව පරාල 21 ක් තිබේ. මෙහි ඉහළ හරහට දමා ඇති 3 වැනි බාල්කයේ " සහ වර්ෂ එක්වා දහස් පනස් නවයට පැමිණි අවුරුද්දේ" ලෙසත් අනෙක් පස "ක්‍රිස්තු වර්ෂයෙන් 1837" ලෙසත් ලියා ඇත. පනාවිටිය අම්බලමේ සැලැස්ම ලෙසටම යොදා ඇත. එහෙත් කැටයම් රහිතය.
![]() |
" සහ වර්ෂ එක්වා දහස් පනස් නවයට පැමිණි අවුරුද්දේ"මූලාශ්‍රය: කතුවරිය |
![]() |
ඉතා සරල කැටයමින් යුතු පේකඩ හා කුළුණු හිසමූලාශ්රය: කතුවරිය |
ඉතා ශක්තිමත් සහ විශාල ප්‍රමාණයේ දැවමය තලාඳ හතර අනෙකුත් සාම්ප්‍රදායික අම්බලමක මෙන්ම මඟියාට අසුන්ගෙන සිටීමට මෙන්ම නිදා ගැනීමට ද හැකි වන පරිදි සකසා ඇත. විශේෂත්වය නම් එම තලාඳයට අමතරව කුඩා ප්‍රමාණයේ දැවමය තලාඳ හතරක් කළු ගල් තලාව මත සමබරව පිහිටුවා තිබීමය. එය අසුන්ගෙන සිටින්නෙකුට අසමතුලිත ගල් තලාව මත පා තබාගෙන සිටීමට වඩා සුවපහසුවක් ගෙන දෙන්නාක් මෙන්ම වැසි ජලයෙන්, සතා සීපාවන්ගෙන් ද ආරක්ෂා වන්නට හේතු වන්නට ඇත.
අසමතුලිත වූ ගල් තලාව මත හා වටකුරු කලු ගල් මත මූලාශ්‍රය: කතුවරිය |
![]() |
කැටයමින් තොර පරාල මඩොල් කුරුපාවට සම්බන්ධ කර ඇත.මූලාශ්‍රය: කතුවරිය |
මෙම අම්බලම හා පනාවිටිය අම්බලම එකම මාර්ගයක තිබූ බවට මත පළවේ.
මෙම අම්බලම ස්ථාන ගත වී ඇත්තේ දීකිරිකෑව-පනාවිටිය ශ්‍රී ලංකාතිලක විහාරයත්, විශාල වෙල් යායකුත් මැදිකොට ගනිමිනි. අම්බලම ඉදිරිපිටින් දිවෙන වෙල් යාය ඔස්සේ දඹදෙණියේ සිට යාපහුවට හා කුරුණෑගලට දිවෙන මාර්ගයක් පැවති බව පැරැන්නන්ගේ අදහසයි. තවද මෙහි සිට අනුරාධපුරය ඓතිහාසික නගරය හා සම්බන්ධ වූ පැරණි ගමන් මාර්ගයක් ද තිබූ බව දැක්වේ (Karunaratne 1971:121).
පනාවිටිය අම්බලමේ ස්ථානගතවීම සම්බන්ධයෙන් වැදගත්වන තවත් අදහසකි. දඹදෙණිය රාජධානි සමයේදී පා ගමන් සඳහා යොදාගන්නා ලද අඩි පාරක් දඹදෙණි මාලිගාවේ නැගෙනහිර දොරටුවෙන් පටන් ගෙන වීරේ අම්බලමෙන් ඊසාන දිගට විහිදී ඇත (වීරේ අම්බලම අද දක්නට නොලැබුණත් එය පිහිටියා යි සැලකෙන ඉඩමට අදත් ගැමියන් ''අම්බලමේ කෑල්ල” යැයි ව්‍යවහාර කරන බව දැක්වේ). එම අඩි පාර පනාවිටිය අම්බලම දක්වා ද ගමන්කොට නැවත ඊසාන දෙසට හැරී දීකිරිකෑව හා ඉන් ඔබ්බෙහි පිහිටි කරගහගෙදර අම්බලම පසුකොට යාපහුව දක්වා වැටී ඇත (අත්ථදස්සී 2000:5-6).
කෙසේ නමුදු වර්තමානයේ පවතින පුරාවිද්‍යාත්මක නටබුන් සහිත අනෙකුත් ප්‍රදේශත්, ලේඛන ගත විද්වත් මතත් සලකා බැලූ විට මෙම අම්බ්ලම් දෙක පසු කරමින් ගමන් කළ පුරාණ මඟියාගේ ගමන් මඟ පිළිබඳ සියුම් උපකල්පනයකට පැමිණිය හැක. එය පහත පරිදි සිතියම් ගත කළ හැක.
ඓතිහාසික දඹදෙණිය හා යාපහුව රාජධානිවලට සාපේක්ෂව පනාවිටිය අම්බලම පිහිටීම පුරාණ මාර්ගය පිළිබඳ කතුවරියගේ උපකල්පනය |
එදා මේ පුරාණ කුඹුරු යායවල් පිසගෙනෙ හමන මඳ නළ පහස විඳිමින් රාජ රාජ මහාමාත්‍යාදීන් මෙන්ම දුගී මඟී, ආගන්තුක, අනාගන්තුක බොහෝදෙනා මේ කැණිමඬල යට ඉසිඹු ලන්නට ඇත. ඔවුනොවුන්ගේ අල්ලාප සල්ලාපයන්ද, කී නොකී රහස්ද සියවස් ගනණක් පුරාවට මේ දාරුමය කුළුණු අසා සිටින්නට ඇත. පාරම්පරික ජන සංස්කෘතික ප්‍රවාහයේ ජීවමාන නිහඬ දාරුමය සාක්ෂිකරුවන් අද රාජ්‍ය අනුග්‍රහයද සහිතව වැට කඩුලු රැකවල් මැද තේජාන්විතව ඉසිඹුලමින් සිටී. මේ ජීවමාන සාක්ෂිකරුවන් රැක ගැනීම අනාගත පරපුරෙහි මහත් වගකීමකි.
මූලාශ්‍රය:
මානව සම්පත්
සෙනෙහසක අරුම.......
දැක්කෙත් එදාමයි
අහංකාර පෙනුමයි
කතා කළේ එක පාරයි
නමුදු ප්‍රේමනීයයි...
ජීවිතය හරි පුදුමයි
ප්‍රේමය එහි එක් යාත්‍රාවයි
හමුවීම හරි පුදුමයි
දිවිමගේ නව යුගයයි....
විඩාබර දිවියයි
නමුත් දැන් හරි එළියයි
නොමියන පහන් සිළුවයි
මියෙන තුරු ඔබ මගේ හුස්මයි ...
ඔබ නමින් දිවුරලා
රකිමි එක් ප්‍රාර්ථනා
නොයමි කිසිදින ඔබ දමා
රකිමි ප්‍රේමය දිවිතුරා.....
(තුසර පිණි.......)
"කමක් නෑ. ගන්න."
ලද අවසරයෙන් බෑගයට පැන්න ඈ දුරකතනය ගත්තාය.
" ඔව්පුතේ කියන්න."
සමාව ඉල්ලනසුලු බියගුලු දෑසකින් මා දෙස බලා හෙමින් හඬ අවදි කලාය.තත්පර කිහිපයක් අනෙක් පස හඬට කන් දුන් ඇගේ පුදුමයෙන් විශාල වූ දෑස්.අඳුරු පහන් එලියට දිලිසෙයි.රත් පැහැ දෑස් අග නලියන කදුලු බින්දුවක් එලියට පනින්නට සැරසෙයි.
"දෙයියංගෙ පිහිටයි මගෙ රත්තරං පුතාට"
ඒ හඬ අඬන්නට ඔන්න මෙන්න ය.
" කොහෙටද පුතේ තේරිලා තියෙන්නෙ?"
අනෙක් පසට උවමනාවෙන් කන් දුන් ඈ නැවතත්,
"කොහෙද..?"
ඒ ඇස් කෙමෙන් අදුරු වනු අඳුරේම දුටුවෙමි.සුලු මොහොතකින් ඈ පුස් ගඳ ගසන ඇංද ඇතිරිල්ල මත උඩුකුරුව වැතිරුනාය.
"මහත්තය පාන්දර යන ගමං මාව බෝ ගහ ලඟින් දාගෙන යන්න පුලුවන්ද?" එය මට අලුත් ඉල්ලීමක් නොවූනි.
එලිය වැටෙන්නට මත්තෙන් නුගේගොඩ බෝ ගහ අසලින් රථය නැවැත්වූ මම,
"බහින්න, බෝගහ ළඟට ආව."
" මහත්තය මම කිව්වෙ පිටකොටුවෙ බෝ ගහ ළඟ."
කිසිත් නොකියා රථය පණ ගැන්වූ මා නතර වූයේ පිටකොටුව බැස්ටියන් මාවත බෝ ගහ ලග ය.
"බොහොම පිං මහත්තය."
ඒ මා කිසි දිනක ඇගෙන් නොඇසූ වචනයකි.එසේ කියා අදුරේම දිව ගිය ඈ "හොරොව්පතාන-කොළඹ " බසයට ගොඩ වනු දුටුවෙමි.
එදා සිට අද වන තෙක් මැදියම් රැයේ නුගේගොඩ බෝ ගහ පසු කර යන මා හැම දිනකම ඇගේ රුව සෙව්වෙමි.නමුත් කිසි දිනක මා ඇය නොදුටුවෙමි.
පමා වූ සෙනෙහස...
පණිවිඩේ යනකොට
හොඳටෝම රෑ වෙන්න ඇති,
කහට උගුරක්වත් නැතිව
අනේ පව් පොඩි එකා පිටත් වෙයි පාන්දර.
මොකද තවමත් නැත්තෙ?
හොඳටෝම ගුලි වෙලා නිදියන්න ඇති
"කම්මැලිය"
ගෙදරදිත් ඔහොමමයි
බස් එකත් මග ඇරෙයි
දැන් ඉතින් , හොඳටෝම හවස් වෙයි
ගමේ කොල්ලන්ගෙ කාඩ් සෙල්ලම
ඉවර වෙන් නැති හැඩයි
යාය පහ බස් එක
අදත් කැඩිලද කොහෙද
අනේ පව් පොඩි එකා එනව ඇති පයින්ම,
දැන් ඉතින් පාන්දරවත් වෙයි ,
"ඉලව් බස් එක"
හාමුදුරුවන්ගෙත් වෙනද නැති හදිස්සිය
"ඉදං මෙ ඥාතී ණං" ලහි ලහියෙ කියපු කැත
ගනිව් ඔය උදලු කෙටි අහකට
කොලුව දැන් එයි විගහට.......
අනේ පවු පොඩි එකා
මගදි කරදරයක් වත් උනාද?